Saturday, 26 May 2012

ගංසිපුර කතා : කෝච්ච්යේ වෙච්ච වැඩක්...




අද ගංසිපුරට එක පාරටම හෙන වැස්ස...සිගරට් එකකුත් පත්තු කරගෙන බඩා ලැප ඉස්සරහ ඉඳත්තේ අදනං එක පෝස්ට් එකක් හරි ලියලා ඉවර කරනවමයි කියලා. කිව්වට මොකද, මේක හිතන තරම් ලේසි වැඩකුත් නෙමේ කියලා බඩාට තේරුනේ එතකොටයි. ඔහොම කල්පනා කර කර ඉන්නකොට මතක් වුනා කතාවක්. මේක බඩා ගන්සිපුරට ආව අලුත වුන වැඩක්.

ගංසිපුරට බඩා ආවෙ ඉගෙන ගන්න කියලානේ. ඉතින් ඔය ඉගෙන ගන්න ගමන් එදිනෙදා වියදමට සල්ලි ටිකක් හොයාගන්න කියලා බඩාත් හොයා ගත්ත පොඩි part-time job එකක්. හවස 5ට 6ට පටන් ගත්තම ඒකෙ වැඩ ඉවර වෙන්නේ රෑ 11.30ට විතර. ඉතින් බඩායි, තව කීප දෙනෙකුයි වැඩ ඉවර වුන ගමන් දුවනවා 11.45ට තියන අන්තිම කෝච්චිය අල්ලන්න. ඔන්න එක දවසක් ඔහොම වැඩ ඉවර වෙලා කස්ටිය කයියක් ගහගෙන එන අතරේ, සීට් එකක් හම්බුන නිසා බඩාත් හොඳට හරි බරි ගැහිලා ඉඳගත්ත. ඔහොම යන අතරේ, බඩාගේ යාලුවෙක් මෙහෙම කියනවා..

"අඩෝ, අර කෑල්ල බලපංකො...අර අතන ඉන්නේ...පට්ට ලස්සනයි යකෝ... හින්දි නිලියක් වගේ...අර බලපංකො.."



යාලුවාගේ වදෙන් බේරෙන්න බැරිම තැන බඩාත් බැලුවලු ( නැත්තන් බඩා එහෙම ගෑනු ලමයි දිහා බල බල යන කෙනෙක් නෙමේ. හරිම අහින්සකයි ). බලද්දි කතාව ඇත්ත. ඉටි රූපයක් වගේ ලස්සන ගෑනු ලමයෙක් බඩාට සීට් එකක් එහාපැත්තෙන් එඳන් ඉන්නවා. අනිත් යාලුවො ටිකටත් සීන් එක නෝන්ඩි වෙලා...මේ වගේ ඩයලොග් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා..

"අඩෝ මාර කෑල්ල නේ බං, අපේ අම්මත් හොයන්නේ මේ වගේ කෙනෙක් තමයි..."

"අර ෆිල්ම් එක මතකයි නේ?? ඒකේ ඉන්න කෑල්ලත් මේ වගේමයි බං...අම්මපා හා කිව්වොතින් මම මේ දැන් හරි බඳිනවා..."

ඒ අස්සේ මේ වගේ දෙයකුත් ඇහුනා...

"මචං මේකට #$%&න තිබ්බා නං කියලා වැඩක් නැහැ..."


ගංසිපුර බස්, කෝච්චි වල යනකොට අපේ එවුන් බය නැතුව, ඕන දෙයක් කෑගහල කියනව....මොකෝ මේ රටේ එවුන්ට සිංහල තේරෙනවයැ.

ඉතින් කට්ටිය ඔහොම කෑ කෝ ගගහා යනවා. එකපාරටම සද්ද බද්ද නැති වුනා. බඩාටත් මොකක් හරි අවුලක් නෝටිස් වුනා. කෙලින්ම බැලුවේ අර ගෑනු ලමයා දිහා.


මෙන්න බොලේ මේකි අත් දෙකෙන්ම මූන කට වහගෙන හිනා වෙනවා!!! මේක දැකලා බඩාට හීන් දාඩිය දාපි...කෝකටත් කියලා චෙක් කරලා බලන එක හොඳයි කියලා බඩා ඒ ගෑනු ලමයා දිහාවට හැරිලා මෙහෙම ඇහුවා...

"මේ...ඔයා ලංකාවෙන්ද??"

ගෑනු ලමයත් ඔලුව වනල "ඔව්" කියලා උත්තර දුන්න. හුටා!! මේකිට අපි මෙච්චර වෙලා කියපුවා ඇහුනද දන්නෙත් නැහැ!!! බඩාගේ යාලුවො දුවන්න පාරවල් හොයනව..එත් කෝච්චියේ නේ, කොහේ කියල දුවන්නද??

ක්ෂනික ඥානය පහලවුනු බඩා ටක් ගාලා කෙල්ලට මෙහෙම කිව්වා..

"අනේ සමා වෙන්න ඔනේ...වරදක් කලත් සිතකින් නොවේ...අපි හිතුවේ වෙන රටක ( ඉන්දියාවෙ ) කෙනෙක් කියලා.."

කෙල්ලත් " ඉට්ස් ඕකේ.." කියලා බඩාට කඩු පහරක් දීලා ශේප් වුනා. ස්ටේශන් එකට ආපු නිසා බඩා අන්තිම වතාවටත් කෙල්ලට අහින්සක හිනාවක් දාලා බැහැල ආවා. අනිත් එවුන් නන් ලැජ්ජාව වැඩි කමට කෝච්චියේ දොරවල් ඇරපු ගමන්ම බැහැලා දිවුවා. ගෙදරට යනකන්ම කට්ටිය ඕක ගැන කිය කිය හිනා වෙවී තමයි ගියේ.

වැඩේ මේකනේ, ගංසිපුර කියන්නේ ඉන්දියන් ජාතිකයන්ගෙන් බහුල රටක්. අපියි, ඒගොල්ලොයි පෙනුමෙන් ටිකක් සමාන නිසා ඔය වගේ වැරැද්දක් වෙන එක මහාලොකු දෙයක් නෙවෙයි. නමුත් මගේ අම්මේ කියපු කතා ටික...එවා බහුතරයක් මට මේකෙ කියන්න බැහැ...හිතාගන්න  පුලුවන්නේ?? ඉතින් එදනන් බඩා සහ යාලුවො ටික හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අදටත් බස් එකකට කෝච්චියකට නැග්ගහම බඩා කතා කරන්නේ පොඩ්ඩක් වට පිට බලලා.



ඕන් එහෙනන් මාත් ලියනවෝ...

ශ්‍රී ලාංකික ලියන්නන් බොහෝ දෙනෙක්ගෙ බ්ලොග් කියවල මටත් ආවා පුදුමාකාර ආසාවක් මගේම කියලා බ්ලොග් එකක් ලියන්න. තාම අලුත් නිසා මුල දවස් ටිකේ පොඩි පොඩි අත්වැරදීම් වේවි ( හා හා පුරා කියලා පටන් ගත්තට තාම මෙලෝ දෙයක් දන්නේ නැහැනෙ ). ඒවට ඉතින් ඉන් ඇඩ්වාන්ස් ඔන්න සමාව ඉල්ලුව. කියවල බලන්ට එහෙනං...:)