වෙලාව පාන්දර තුන පසුවී විනාඩි විසි එකයි. කොහොමත් වෙලාවට නින්ද යන්නේ නැති බඩාට අද ලොවෙත් නින්ද යන්නේ නැහැ. හිත පොඩ්ඩක් කලබලයි. යාලුවෙක්ට වෙච්ච පොඩි කරදරයක් ගැන අහලා බඩා අද දවසම පොඩ්ඩක් අවුලෙන් හිටියේ. යාලුවගේ අයියට ලියුකේමියා හැදිලා. ඒකට සැත්කමක් කරන්න කියලා යාලුවයි අය්යයි හෙට උදේ ගංසිපුර එනවා. සැත්කමට වැයවන මුළු මුදල රුපියල් මිලියන 50ක්! ඉතින් දන්න අඳුනන සේරම එකතු වෙලා මේකට සල්ලි එකතු කරලා දෙන්න මහන්සි වෙනවා. මනුස්සයෙක්ගේ ජීවිතේ කියන අමිල වස්තුවටත් මිලක් තියනවා කියන සත්‍ය අවභෝධ වෙලා බඩාට පොඩ්ඩක් කලකිරුනා. පුලුවන් හැටියට පුලුවන් තරං උදව් කරනවා කියලා බඩා හිත හදා ගත්තා. ඒත් නින්ද යන පාටක් නං නැහැ.
ලෝකේ වෙන දේවල් දැක්කම හිතට ටිකක් දුකයි. මිනීමැරුම්, දූෂණ, හොරකම්, මේවා එකක්වත් නොවුන දවසක් බඩා තාම අහලා නැහැ. අපි හැමෝම මිනිස්සුය කියන හැඟීම ගොඩ දෙනෙක් ලඟ නැති බවයි පේන්නෙ. සතුටින්, සැහැල්ලුවෙන්, සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් ගැන සිහින මවන අයගෙන් බඩාත් එක්කෙනෙක්. සින්දුවකුත් මතක් වුනා, අර "කොහේ කොතැනක තැනේවිදෝ, අපට ලෝකයක්" කියල යන්නේ.
මොන දේ කරත් යනකොට අරන් යන්න තියෙන්නේ මතකයන් විතරයි කියල බඩා විශ්වාස කරනවා. මැරෙන මොහොතේදි, තමන් අරන් යන්නෙත්, අනිත් අයට ඉතුරු කරල යන්නෙත්, මතකයන් විතරයි. ඒ ඉතුරු වෙන්නේ හොඳ මතකයන්ද, නරක මතකයන්ද කියන තීරනය තියෙන්නේ අපේ අතේමයි. එහෙම තියලා යන්න හොඳ දේවල් නැත්තං, ඒ ජීවිතයෙන් වැඩක් නැහැ කියලයි බඩාට හිතෙන්නේ. කොහොම හරි, කතාව පොඩ්ඩක් වෙන පැත්තකට යනවා වගේ තේරුන නිසා මෙතනින් නවත්තනවා. මේ ලියන දේවල් කවුරු කොහොම කියවයිද කියලා දන්නේ නැහැ. නමුත් හිතෙ තිබ්බ චූටි බරක් නිදහස් වුනා වගේ දැනෙනවා. දැන් ටිකක් නිදි මතයි. මේ ලියලා තියන දේවල් ගැන මුකුත් හිතන්න එපා. හිතේ අවුලෙන්නෙ හිටියෙ, ඒ නිසා හිතේ තියන දේ ලියවුනා. වරදක් ඇතොත් කියා දෙන්න. බැරි නම් සමා වෙන්න.